20170410

බන්දුල හරිශ්චන්ද්‍ර





ඔබේ සම්පූර්ණ නම?

බන්දුල හරිශ්චන්ද්‍ර පීරිස්

උපන්නෙ?

1940 මැයි 24

කොහෙද?

ගම නම් පාණදුර වලාන. ඒත් ඉපදුණේ පාණදුර කෙසෙල් වත්තේ. මොකද මං හම්බුවෙන්න කිට්ටු දවස්වල තාත්තට අම්මවරුන්ගේ අසනීපයක් හැදිලා තියෙනවා. ඒ නිසා අම්මා ඒ දවස්වල හිටියෙ එයාගේ ලොකු අක්කා ළඟ.

තාත්තා කවුද?

දොම්පගේ විලියම් පීරිස්. වඩු වැඩ කළේ. තාත්තට හොඳට කැටයම් වැඩ පුළුවන්. මගේ වයස අවුරුදු 9 දි තාත්තා මියගියා.

අම්මා?

පර්ලිනා පීරිස්. උගත්කමක් නොතිබුණට අම්ම හරිම බුද්ධිමත්. අම්ම තමයි අපිව හැදුවේ. නැත්නම් අපි අනාථයි. අපිව හදන්න අම්ම හුඟක් දුක් වින්දා. කඩයප්පන් හදල වික්කා. කොහු මෝලක වැඩ කළා.

පවුලේ කී දෙනයි ද?

අයියයි නංගියි මමයි. අයියා කාලෙකදි නැතිවුණා. දැන් ඉන්නේ නංගි විතරයි.

ඔබ පාසල් ගියේ?

මුලින්ම වලාන මහනාම විදුහලට ගියා. ඊට පස්සේ ශ්‍රී ජිනධර්මදාන පාසලට ගියා. ඒ පාසලෙන් අවුරුදු තුනකට පස්සේ ජ්‍යෙෂ්ඨය පාස් වුණේ මම විතරයි. ඒත් අද හිතෙනවා තවදුරටත් ඉගෙන ගත්ත නම් ඉංග්‍රිසි දැනුම එහෙම දියුණු කරගන්න තිබුණා කියලා.

ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ කොතැන ද?

මට පුංචි කාලේ ඉඳන්ම චිත්‍ර ඇඳීමේ හැකියාව තිබුණා. ඒත් බස් නැවතුම් පොළක්, වෙළෙඳ පොළක් ඇන්ද පමණින් අඳින්න පුළුවන් කියලා කවුරුත් පිළිගන්නේ නැහැ. මනුස්ස රූපයක් ඒ විදියටම ඇන්දොත් අන්න පිළිගන්නවා අඳින්න පුළුවන් කියලා මම දවසක් පන්තියේ ඉද්දි ගොඩනැඟිල්ලේ ගහලා තිබුණු මහත්තයෙක්ගේ රූපය ඒ විදියටම ඇන්දා. ඒක ඒ ගොඩනැඟිල්ල පරිත්‍යාග කරපු මහත්තයගේ පින්තූරය. ගුරුතුමා මගේ චිත්‍රය දැක්කා. දැකලා ඒක විදුහල්පතිතුමාට පෙන්නුවා. මාත් එක්ක හිටියා ලයනල් පීරිස් කියලා යාළුවෙක්. එයාට මෝස්තර වැඩ එහෙම හොඳට පුළුවන්. “තමුසෙලා දෙන්නම ගිහිල්ලා අහවල් තැන ඉන්නවා, ජයවර්ධන කියලා මහත්තයෙක්. එයා මුණගැහෙනවා” කියලා කිව්වා. අපි ගියා එයා ළඟට. ඔහු තමයි ජාතික කලා පෙරමුණේ භාණ්ඩාගාරික. හොඳට අඳින්න පුළුවන්. මේ ගමන තමයි මගේ ජීවිතය වෙනස් කළේ.

එතකොට පුවත්පත්වලට සම්බන්ධ වුණේ කොහොම ද?

පත්තරවල පළවන චිත්‍රකතා අපි දකිනවා; කියවනවා.

කවුද ඒ කාලේ ඇන්දෙ?

ජී. එස්. මාස්ටර්, (ජී. එස්. ප්‍රනාන්දු) සුසිල් මාස්ටර් (සුසිල් ප්‍රේමරත්න) වගෙ අය. ඉතිං මටත් හිතුණා කතාවක් අඳින්න. මං කතාවක් ඇඳලා ‘දවස’ පත්තරේට තැපැල් කළා. මට ලියුමක් එවලා තිබුණා ඇවිල්ලා මුණගැහෙන්න කියලා. මං ගියා. එතැන හිටපු මහත්තයෙක් කිව්වා දිග කතා අපිට එපා. දවසින් ඉවර වෙන කතාවක් ඇඳලා එවන්න කියලා. ඔහු පියල් වික්‍රමසිංහ මහත්තයා ඔය දවස්වල ජාතික කලා පෙරමුණේ ජයවර්ධන මහත්තයා පාණදුරේ කලායතනයක් පටන් අරන් තිබුණා. අපිත් එතකොට එතැන උගන්වනවා. ඔතැන්ට එනවා හෙන්රි තෙන්නකෝන් මහත්තයා. දන්නවනේ ඒ කාලේ ‘ලංකාදීපය'ට ‘සමාජ සමයං’ ඇන්දේ. මං ඔහුට පෙන්නුවා මං ඇඳපු චිත්‍ර කතාවක්. ඔහු කිව්වා අපි ඕක අරගෙන ලේක්හවුස් එකට යං කියලා. ඉතිං ගියා. ඔහු මගේ චිත්‍රය එක්තරා පුවත්පත් කලාවේදියකුට පෙන්නුවා. ඔහු තමයි ජයවිලාල් විලේගොඩ. තෙන්නකෝන් මහත්තයගෙ ඉස්කෝලේ යාළුවෙක්. විලේගොඩයි, ජෝ අබේවික්‍රමයි, තෙන්නකෝන් මහත්තයයි එක ඉස්කෝලේ යාළුවෝ. රත්නපුරේ සීවලි එකේ ද කොහෙද.

ජයවිලාල් ඒක අරන් කර්තෘ මහත්තයාට පෙන්වන්න ගියා. අපිට උඩට එන්න කිව්වා. ‘දිනමිණ’ කර්තෘ එම්. ඒ. ද සිල්වා මහත්තයා. ඔහුත් කිව්වෙ දවසින් ඉවර වෙන කතාවක් අඳින්න කියන එක. අපිට තියෙන හොඳම පොත තමයි ජාතක කතා පොත. ඒ ඇසුරෙන් චිත්‍ර කතාවක් අඳින්න කියලා ඔහු කිව්වා. ඒ අනුව මං ජාතක කතා 30 ක් විතර ඇන්දා. ඔය කියන්නේ 1962 දි විතර.

මුල් කාලයේ ඔබ ඇඳපු දිග චිත්‍ර කතා මතක ද?

නල දමයන්ති, රහස් අස්න, දේවතාපය, බේබද්දා, සද්දන්ත, පණ්ඩුකාභය, සිංහබාහු, උන්මාද චිත්‍රා, දේවස්මිතා.

මට මතකයි ඔබ ඒ කාලේ හුඟක් ග්‍රීක හා රෝම ශෛලියේ කතා ඇන්දා.

ඔව්. හෙලන්, පෙරික්ලිස්, හේලෝ වගේ කතා. හැබැයි ‘පෙනිලෝපා’ වගේ කතාවක්නම් තනිකර ස්වතන්ත්‍ර. ඒක හුඟක් ජනප්‍රිය වුණා. ඇමෙසන් ගැහැනු එහෙම බොහෝම ශෘංගාර විදියට මගේ අතින් නිර්මාණය වුණා.

ඒ වගේ ගැහැනු, පිරිමි අඳිද්දි මොඩල්ස් මුකුත් පාවිච්චි කළා ද?
විශේෂයෙන් ග්‍රීක, රෝම යුග නිරූපිත පොත් හෝ සඟරාවල තිබුණු ඡායාරූප හෝ චිත්‍ර.

නැහැ. මානව රූප සම්පූර්ණයෙන්ම වගෙ මගේ නිර්මාණ. ඒත් ඇඳුම් හා ගොඩනැඟිලි අඳිද්දි ලේක්හවුස් පුස්තකාලයට ගිහිං ඒ ගැන ටිකක් විපරම් කරලා බැලුවා. මොකද ඒවා අපිට වඩා වෙනස්නේ.

මේ විදියට චිත්‍රකතා ඇඳලා මාසයකට කීයක් විතර ලැබුණා ද?

රුපියල් තුන්සීයක් විතර. හැබැයි ඉතිං ඒ කාලේ හැටියට ඒක තරමක ලොකු ගාණක්.

ඔබේ චිත්‍රකතා ඒ කාලේ පත්‍රවල අලෙවිය කෙරෙහි බලපෑව කියලා කියන්න පුළුවන් ද?

ඔව්. තිස් හතළිස් දාහකින් විතර පත්තර නැග්ගා. දවසක් ‘දිනමිණ’ කර්තෘ ධර්මපාල වෙත්තසිංහ මහත්තයා මට එන්විලොප් එකක් දුන්නා. ඒකේ රුපියල් 500 ක් තිබුණා. මං පුවත්පත් කලාවේදී සිසිල් ඉලංගකෝන් ගෙන් ඇහුවා ඒ මොකට ද කියලා. ඒ පත්තරේ අලෙවිය වැඩිවෙලා ඒ සන්තෝසෙටයි ඔය දුන්නේ කියලා කිව්වා.

ඔබ ඇකඩමික් නොවීම ගැන ඔබට පොඩි දුකක් ඇතිවෙන්නෙ නැද්ද?

ඕක බලපාන්නේ රස්සාවක් කරනකොට. මට දවසක් හිතුණා හදිසියේ මගේ චිත්‍රකතා පත්තරවල පළ නොකළොත් මට මොකද වෙන්නෙ කියලා. මට තියෙන්නේ ජ්‍යෙෂ්ඨ සහතිකේ විතරයි. ඒකෙන් අඩුම ගාණේ චිත්‍රකලා ගුරුවරයෙක්වත් වෙන්න බැහැ, මං එය ගැන ජයවිලාල් එක්ක කතා කළා. එයා කිව්වා, හේවුඩ් එකේ පාඨමාලාවක් (දෑ අවුරුදු උසස් සහතික පාඨමාලාව) තියෙනවා. ඒකේ සහතිකයට ගුරු පත්වීමක් ගන්න පුළුවන් කියලා. මමයි මගේ යාළුවා ලයනල් පීරිසුයි ඒ පාඨමාලාව හැදෑරුවා ඇත්තටම ඊට පස්සේ මට ගුරු පත්වීමක් ලැබුණා.

ඒ කොහෙට ද?

හාලිඇළ. ඒත් මං ගියේ නැහැ. මොකද මගේ අයියා අසනීප වුණා.

ආයතනගත වෙමින් චිත්‍ර අඳින්න ඔබේ අදහසක් තිබ්බෙ නැද්ද?

මම ස්වාධීන චිත්‍ර ශිල්පියෙක්. ආයතනයකට කොටුවෙන්න මගේ අදහසක් තිබ්බෙ නැහැ. නමුත් පැවැත්ම ගැන හිතලා මම ස්ථිර පත්වීමක් හදා ගත්තා. නමුත් මට දුන්නේ දෙවැනි ශ්‍රේණියේ පත්වීමක්. අවුරුදු ගණනාවක් චිත්‍ර ඇඳලා, පත්තර අලෙවිය පවා වැඩිකර දුන්නු මට දෙවැනි ශ්‍රේණිය ලබා දීම ගැන මට පැහැදීමක් තිබුණේ නැහැ.
ඔය අතරේ හැත්තෑ හතේදී ආණ්ඩුව වෙනස් වුණා. යූ. ඇන්. පී. ආණ්ඩුව ආවා. ඡන්දයට වැඩ කරපු ළමයෙකුට පළමුවැනි ශ්‍රේණියේ පත්වීමක් දීලා තිබුණා. ඒ ළමයට ස්කෙච් එකක්වත් ගහගන්න බැහැ. ඉතිං මං මොකට ද ඉන්නෙ? මං අස්වෙනවා කිව්වා.

මල්ටිෆැක්ස් ගියේ ඒ අස්වෙලා ද?

මං ඉල්ලා අස්වෙන්න යන බව කොහොමහරි කැමිලස් පෙරේරා මහත්තයා (ප්‍රකට කාටුන් චිත්‍ර ශිල්පි) දැනගෙන තියෙනවා. ඔහු මට කිව්වා අයින්වෙන්න එපා; ඒක මෝඩ වැඩක් කියලා. ඒත් මං දැඩි තීරණයක හිටියා. දෙවැනි වතාවටත් කැමිලස් කියද්දි එහෙමනං මල්ටිපැක්ස් එකට එන්න කියලා මාව හැරිස් හුලුගල්ලේ මහත්තයා ළඟට එක්ක ගියා ඒ විදියටයි ‘සිත්තර’ පත්තරේට සම්බන්ධ වුණේ.

ඔබ කලෙකදි ‘සිළුමිණ’ පත්තරේට ඉලංගරත්නගේ නවකතා කීපයක් චිත්‍රකතා විදියට ඇන්දා. ඒ දේශපාලන බලපෑමකින් ද?

කර්තෘ කිව්වා, මං ඇන්දා. ‘නයනා’ චිත්‍ර කතාව මුලින්ම ඇන්දේ තලංගම ජයසිංහ. එයා කොටස් හත අටක් ඇන්දා. පස්සේ කර්තෘත් එක්ක පොඩි ප්‍රශ්නයක් ඇතිකරගෙන නැවැත්තුවා. ඒ ප්‍රශ්නෙ මොකද්ද කියලා මං දන්නවා. ඒත් කියන එක හරි නැහැ. කර්තෘ කිව්වා මට අඳින්න කියලා. කර්තෘගේ වචනය අහක දාන්න බැහැනේ.

ඒ කාලේ ‘සතුට’ පත්තරේ පටන්ගත්තනේ. ඇයි ඔබ ඒකට චිත්‍රකතා ඇන්දේ නැත්තෙ?

ඒ වෙනකොට මම පත්තරවලට චිත්‍රකතා හතරක් පහක් අඳිනවා, හරි වෙහෙසයි. අනෙක අයියගේ අසනීපය.

ඔබ හිතන විදියට කවුද චිත්‍රකතා ක්ෂේත්‍රයේ දක්ෂතම සිත්තරා?

මම මේක මීට කලිනුත් කියලා තියෙනවා. මම හිතන්නේ පී. වික්‍රමනායක (වික්‍රම) දක්ෂයා. රූප වශයෙන් කොහොම වුණත් ඔහුගේ සැලසුම් හරිම ලස්සනයි.

එතකොට දයා රාජපක්ෂ?

කතා අතින් ගත්තොත් ආයේ අහන්න දෙයක් නෑ එයා තමයි දක්ෂයා. ඒත් චිත්‍ර ගැන මට මුකුත් කියන්න බැහැ. හැබැයි මුල් කාලේ දයා බොහොම හොඳට ඇන්දා.

සෝමවීර ‍සේනානායකයි ඔබයි එකතු වෙලා කරපු නිර්මාණ (විශේෂයෙන් ‘තනි තරුව’ වගේ) හුඟක් බොළඳයි.

ඔය කාලේ වෙනකොට බලංගොඩ සරත් මධුගේ ‘ඉතිං ඊට පස්සේ’ (දේදුනු - කැලුම්) චිත්‍රකතාව අතිශය ජනප්‍රියයි. මට ‘සිළුමිණ’ කර්තෘ එස්. සුබසිංහ මහත්තයා කිව්වා, කෙල්ලෝ කොල්ලෝ කියවන්නේ පෙම්කතා. ඒ හින්දා ඒ අයට අල්ලලා යන කතාවක් අඳිමු කියලා. හැබැයි සරත් මධු ළඟට එන ළමයින්ට එයා කියන්නේ තමාව අනුකරණය කරන්න එපා බන්දුල මාස්ටර්ගේ චිත්‍ර බලලා අඩුපාඩු හදාගන්න කියලලු. ඒ ළමයින්මයි ඔය කතාව මට කිව්වේ.

කොහොම වුණත් චිත්‍රකතා පිරිහෙන්න පටන්ගත්තා. පස්සෙ නැත්තටම නැතිවෙලා යන තත්ත්වයකට පත්වුණා. එහෙම වුණේ ඇයි?

ඒකට හේතු කීපයක්ම තියෙනවා. චිත්‍රකතා සල්ලි අච්චු ගහනව වගෙ වුණා. ඒ නිසා චිත්‍රකතා පත්තර බහුල වුණා. චිත්‍ර ශිල්පිනුත් සල්ලි බලාගෙන එහෙට පැන්නා, මෙහෙට පැන්නා. ඉතිං චිත්‍රකතා අතරමඟ නවතිනවා. අනෙක සභ්‍ය සීමා ඉක්මවා යන විදියට චිත්‍ර ඇඳීම. ඒ නිසා චිත්‍රකතා පත්තර ගෙදරට ගෙනියන්න බැරි තත්ත්වයකට වැටුණා.

ඔබ නවකතා රැසකට කවර නිර්මාණය කර තිබෙනවා?

මම මුලින්ම ඇන්දේ සාහිත්‍ය පොතක කවරයක්. නවකතාවකට මුලින්ම ඇන්දේ ඇල්බට් වැලිවිටගේ ‘පව් ගෙවන හිර ගෙවල්’ පොතට. ඊට පස්සේ දයාවංශ ජයකොඩි මහත්තයා පළ කරන නවකතා පොත් රැසකට කවර ඇන්දා.

පොතක කවරේ බලල නවකතා මිලට ගන්න පාඨක පිරිසක් ඉන්නව ද?

ඉන්නවා ඇති. ඒකනේ මට කියලා ඇඳගන්නේ.

ඔබ තරම් ලස්සනට ගැහැනු අඳින කෙනෙක් මම තවත් දැකලා නැහැ.
බන්දුල මහත්තයා, ඔබේ ජීවිතයේ ඔබ දැක්ක ලස්සනම ගැහැනිය කවුද?

ඔබට මතක ද දන්නේ නැහැ ඉස්සර හින්දි නිළියක් හිටියා පද්මිණි කියලා. එයාගේ මුහුණට මං හරි කැමැතියි.

ඇයි ඔබ මොඩර්න් ආට්වලට නොගියේ?

අපේ හැකියාව පත්තරවලටම දියවෙලා ගියා. චිත්‍රකතා ඇන්දා. පොත් කවර ඇන්දා. තව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පෝස්ටර් ඇන්දා. පන්සල්වල ඇන්දා.

පන්සල්වල කිව්වේ ඒ කොහෙද?

කලුවඩුමුල්ල විහාරයේ චිත්‍ර ඇන්දේ මං. මේ දවස්වල බොරැල්ල ශ්‍රී ලංකාරාමයේ අඳිනවා. දැන්නම් ඒකේ වැඩත් හුඟක් වගේ ඉවරයි.

අපේ චිත්‍ර ශිල්පීන්ගෙන් (චිත්‍රකතා ක්ෂේත්‍රයෙන් බැහැරව) දක්ෂයා විදියට ඔබ දකින්නේ කවුද?

මං හිතන්නේ සෝයිලියස් මෙන්ඩිස් වඩාත් දක්ෂයි. ඔහුගේ චිත්‍රවල පෙරදිග සම්ප්‍රදාය තිබෙනවා. නිමාවත් ඉතාම හොඳයි.

ඔබ ඇයි ජාතික ඇඳුමට බැස්සෙ?

අපේ අනන්‍යතාවයක් තියෙන ඇඳුමනේ.

සිගරැට්, මත්පැන් බොන්නෙ නැතුව ඇති?

නැහැ. ඒක තේරුමක් නැති විහිළු වැඩක් කියලා මං දැනන් හිටියා.

බන්දුල මහත්තයා විවාහ නොවන්නයි නේද තීරණය කරගෙන ඉඳලා තියෙන්නෙ?

ඔව්. ඒක ඇත්ත. පවුල් ජීවිතවල ඇතිවන රණ්ඩු දබර මං දැකලා තියෙනවා. ඒවා දැකලා කසාද බඳින එක මට එපාවෙලා තිබුණේ.

කා එක්කවත් යාළුවෙලත් හිටියෙ නැද්ද?

නැහැ. ලස්සන ළමයෙක් දැක්කම එයත් එක්ක යාළුවෙන්න ඕනැ කියලා මං හිතලා නැහැ. වචනයක් දුන්නොත් ඒක කඩකරන්නත් බැහැ. බඳින්නම ඕනැ. බොරු කරන්න බැහැ. ඒ විදියට තමයි මම හැදුණේ. විවිධ යෝජනා ආවා. සමහරු කේන්දරත් එව්වා. ඒත් මං ඒ කිසි දේකට කැමැති වුණේ නැහැ.

ඉතිං බැන්දෙ?

මට අවුරුදු හතළිහෙදි අම්මා අසනීප වුණා. අම්මා මට කිව්වා, පුතේ මට හිතේ නිදහසින් මැරෙන්න නම් උඹ බඳින්න ඕනැ නැත්නම් උඹ තනිවෙයි කියලා. ඉතිං අම්ම කියන දේ අහනව ද මගේ පණ්ඩිතකමට නොබැඳ ඉන්නව ද කියන දෙගිඩියාවට මං මුහුණ දුන්නා. මෙච්චර දුක් විඳලා අපිව හදපු අම්මා මැරෙන්නේ මං හින්දා කහටකින් නං ඒක මට මුළු ජීවිත කාලයටම දරාගන්න බැරි වේවි. ඉතිං මං අම්මා කියන දේට කැමැති වුණා.

ඔබ කාව ද බැන්දෙ?

කුසුම් මංගලිකා. එයත් චිත්‍ර ශිල්පිනියක්. එයා මට වඩා අවුරුදු 16 ක් බාලයි. ඒත් ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. එයාගේ හදවතේ සිදුරක් තියෙනවයි කියලා වෛද්‍යවරු කියලා තිබුණා. ඒ දොස්තර රිපෝට් අපි ළඟ තියෙනවා. එහෙම කියලා තිබුණම සමහරු කැමැති නැහැනේ බඳින්න. ඒත් මං කැමැති වුණා.

ඔබට දරුවෝ ඉන්නව ද?

දුවෙක් ඉන්නවා. නම සුමුදු කල්පනි. දැන් එයත් විවාහකයි.

ඔබ ගත කරන්නේ බොහෝම අල්පේච්ඡ ජීවිතයක් කියලා මං අහලා තියෙනවා?

මං අදිකාරම් මහත්තයගේ පොත් කියවපු කෙනෙක්. එතුමාට බලපෑවේ ජේ. ක්‍රිෂ්ණමූර්තිගේ දර්ශනය. මං ගෙයක් හදලා ඒක අයිය මැරුණම එයගෙ පවුලටයි දරුවටයි දුන්නා. මං තවත් ගෙයක් හැදුවා ඒක නංගිට දුන්නා. අපි බැන්දම අපිට ඉන්න තැනක් තිබ්බෙ නැහැ. කුලී ගෙවල්වල හිටියෙ. පස්සේ තමයි මේ ඉන්න ගේ හැදුවේ.

ඔබ ජ්‍යොතිෂය විශ්වාස කරනව ද?

තරමක් දුරට මමත් ජ්‍යොතිෂය ගැන දන්නවා. ඒත් ඒකෙන් එච්චර වැඩක් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. මං කේන්දර බලලා කියපු සමහර දේවල් හරි ගිහිල්ලත් තියෙනවා. ඒත් ඒ ගැන මගේ විශ්වාසයක් නැහැ. ඇත්තම කියනවනම් මගෙයි බිරියගෙයි කේන්දර දෙක ගැළපෙන්නේ නැහැ. ඒත් අපි බොහෝම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා.

ලබන වසරෙදි ඔබට අවුරුදු 75 යි. ජීවිතේ දිහා ආපහු හැරිලා බලනකොට ඔබට මොනව ද හිතෙන්නෙ?

අල්පමාත්‍රයකවත් පසුතැවිල්ලක් නැහැ. වුණු දේවල් ගැන හිතන්නෙත් නැහැ. මෙතැනින් එහාට වෙන්න තියෙන දේවල් ගැන හිතන්නෙත් නැහැ.

සුනිල් මිහිඳුකුල
සිළුමිණ
2014-11-23

No comments:

Post a Comment